මිහින්තලය

එකයි..දෙකයි..තුනයි..වලින් පටන් අරන් සීයත් පහු වෙලා පඩිපෙල් වල ගාන. සිය ගාණක් පියගැට කිව්වහම අපට එක සැරේම මතක් වෙන්නෙ සමනළ කන්ද. ඒත් අපි අද මේ ගණන් කරමින් ආවේ සමනළ කන්දෙ පියගැට පෙළ නම් නෙමෙයි. සමනළ කන්දෙ පියගැට පෙළ වගේම ප්‍රසිද්ධ පියගැට පෙළක් තියෙනවා නම් ඒ වෙන කොහෙවත් නෙමෙයි මිහින්තලාවේ පියගැට පෙළ.

මිහින්තලා කන්ද පාමුල තියෙන කඩ පේළිය අතරින් ගිහින් විකුණන්න තිබ්බ අඹ ගෙඩියකුත් කන ගමන් සුදු නෙළුම් මල් මිටකුත් අරන් ඉක්මනටම නගිමු කියල මිහින්තලේ පියගැට පෙළ ළඟට ආවට මොකද එක පාරටම හිතෙන්නෙ මොහොතක් මේ පඩිපෙළ දිහා බලාගෙන ඉන්න. ඒ විතරක් නෙමෙයි  දකුණු අත පැත්තෙ වැවණු සුදු අරලිය ගස්වල මල් වැටුණු පියගැට පෙළත් එක්ක කන්ද උඩ තියෙන මිහින්තලේ මහ සෑය ජායාරෑපයට නගන්න ඕන කියල කාටත් හෙතෙන දෙයක්.

ශ්‍රී ලාංකික බෞද්ධයන් වශයෙන් මිහින්තලා පුද බිමෙහි ඇති ආගමික සහ ඓතිහාසික සුවිශේෂිභාවය නොදන්නෙක් නොමැති තරම්. මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමගම ලක්දිවට බුදු දහම හඳුන්වා දෙනු ලැබූයේ ඓතිහාසික මිහින්තලාවේදී. එම නිසා ලක් බොදු ඉතිහාසය තුළ මිහින්තලය අග්‍ර ස්ථානයකයි පවතින්නෙ. එනිසා මිහින්තලය පුද බිම එක් වරක් හෝ වැඳපුදා ගන්න එක වැදගත්. ආගමික අතින් පමණක් නෙමෙයි, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටඹුන් රැසක් දැක බලා ගන්නට අවස්ථාව තියෙනවා මිහින්තලේ පැමිණියොත්.

ඔබ කොළඹ සිට පැමිණෙන්නෙක් නම් මිහින්තලයට එන්න පහසුම මාර්ගය තමයි කුරුණෑගල, දඹුල්ල,කැකිරාව,මරදන්කඩවල, තිරප්පනේ පහු කරල එන එක. බස් එකේ එනව නම් මාර්ග අංක 15 කොළඹ-වව්නියා, කොළඹ-යාපනය, කොළඹ-හොරොව්පොතාන වගේ බස් වල එන්න පුලුවන්. ඒත් අප බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ අනුරාධපුරය වැඳපුදාගෙන ඊට පස්සෙ මිහින්තලේ වන්දනා කරන්න. එහෙම එනව නම් අනුරාධපුරයෙ ඉඳල අනුරාධපුරය-ත්‍රිකුණාමල පාරේ කිලෝමීටර් දොළහක් ආවට පස්සෙ මිහින්තලේට එන්න පුලුවන්. අනුරාධපුරයේ ඉඳල එන අනුරාධපුර-ත්‍රිකුණාමලය, අනුරාධපුර-හොරොව්පොතාන, අනුරාධපුර-කහටගස්දිගිලිය, අනුරාධපුර-ගලෙන්බිඳුණුවැව වගේ බස් වල විනාඩි 30ක් වගේ කාලයකින් මිහින්තලේට ලඟා වෙන්න හැකියාව තිබෙනවා. පොසොන් කාලෙට නම් අනුරාධපුරයෙ ඉඳල දුම්රිය ගමනාගමන කටයුතු සිද්ධ වෙනවා.

හරි අපි දැන් ආයෙත් අපේ ගමන පටන් ගමු. මිහින්තලේ කඳු පාමුල ඉඳල තියෙන පළමු පියගැටපෙළ අවසන් වුනහම දකුණු අත පැත්තෙන් තිබෙනවා තවත් පඩිපෙළක් කණ්ඨක වෛත්‍යය බලන්න යන්න. මිහින්තලේ බලන්න යන බොහොමයක් දෙනා හිතන්නේ මිහින්තලේ බලන්න තියෙන්නෙ අම්බස්ථල වෛත්‍යයයි, ආරාධනා ගලයි, මිහින්තලේ මහා සෑයයි, හිඳි බුද්ධ ප්‍රතිමාවයි විතරක් කියල. නමුත් මිහින්තලේ ඊට වඩා බොහොමයක් දේවල් තියෙනවා බලන්න. කණ්ඨක වෛත්‍යත් ඒ වගේ ස්ථානයක්. කණ්ඨක චෛත්‍ය වටේ තිබෙන වාහල්කඩවල් තමයි ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති අලංකාරතම කැටයම් තියෙන වාහල්කඩවල්. ඒ වගේම තමයි මෙම කැටයම් ලංකාවේ පැරණිතම කැටයම් අතරටත් වැටෙනවා. කණ්ඨක චෛත්‍ය වාහල්කඩ කැටයම් අතර තියෙනවා ලංකාවෙ පැරණිම ගණ දෙවි රෑපයක් සහ වලස් හිසක් සහිත වාමන රුවක්. පුලුවන් නම් හොයාගන්න බලන්න.

කණ්ඨක වෛත්‍ය පිටුපසින් තියෙන්නෙ අට සැට ලෙන්. කටාරම් කොටපු මෙම සමහර ගල්ලෙන් වල කටාරම් වලට පහලින් ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බ්‍රාහ්මී අකුරුවලින් ලියපු සෙල්ලිපි තියෙනවා. ඕන නම් මේ ගුහා අතරට ගිහින් බලන්න පුලුවන්. ඒත් පරිස්සමෙන්.

මතකනෙ අපි කණ්ඨක චෛත්‍යට එන්න නැගපු පඩිපෙළ? ඒත් අපි ආපහු බහින්නේ ඒ පඩිපෙළෙන් නෙමෙයි. තවත් මිහින්තලේ තිබෙන විශේෂ තැනක් බලන්න ඕන නම් කණ්ඨක චෛත්‍යත් අටසැට ලෙන් සංකීර්ණයත් අතර තියෙන පියගැටපෙළෙන් බහින්න. මෙම පියගැට පෙළෙන් බැස්සහම කෙලින්ම අපි එන්නෙ මැද මළුව වාහන නවත්වන ස්ථානයට.

දැන් ඔයාලා හිතනවා ඇති වාහන නැවතුම්පොළක මොන විශේෂයක්ද කියලා? වාහන නැවතුම්පොල නෙමේ. ඊට එහා පැත්තේ තියෙනවා සිංහ පොකුණ. මෙතන තියෙනවා පිහිටි ගලේ නෙළපු හිටිගෙන සිටින ආකාරයෙන් සකස් කරපු තරමක විශාල සිංහ රුවක්.ඉහළින් තියෙන පොකුණට එකතුවන ජලය මේ සිංහයාගේ කටෙන් එළියට එන විදිහට තමයි හදල තියෙන්නේ. විශිෂ්ඨ නිර්මාණයක්.

සිංහ පොකුණ අසලින් තියෙන පාර දිගේ ඉහලට ගිහාම මිහින්තලේ මැද මලුවට එන්න පුලුවන්. විශාල බත් ඔරුවක් සහ කැඳ ඔරුවක් තියෙන දාන ශාලාවට අමතරව මැද මලුවෙ තියෙන තවත් සුවිශේෂී පුරාවස්තු දෙකක් තමයි 4 වන මිහිඳු රජුගේ කාලයේ ලියවුණු මිහින්තලේ පුවරු ලිපි දෙක. මටසිලිටු වෙන්න මැදපු ගලක කොටල තියෙන මේ පුවරු ලිපි දෙකේ අකුරු තාමත් පැහැදිලිව කියවන්න පුලුවන්.

මැද මලුවෙ ඉඳල උඩ මලුවට යන්න තවත් පියගැට පෙළක් තියෙනව නගින්න. අරලිය මල් ගස් වලින් හෙවන වෙලා තියෙන මේ පියගැට පෙළ නගිනකොට තවත් යාළුවො පිරිසක් හමු වෙයි. වෙන කවුරුවත් නෙමෙයි, රිලව්. මිහින්තලේට එන අයගෙන් කෑම ඉල්ලන් කන්න පුරුදු වුණු මෙයාල සමහර වෙලාවට කෑම එහෙම උදුරන් කන්න පුරුදු වෙලා ඉන්න හින්ද පරිස්සමෙන් යන එක හොඳයි. ඒත් ඔය රිලවෙක් එක්ක සෙල්ෆියක් ගන්නත් අමතක කරන්න එපා.

 

මේ පියගැට පෙළත් නැගල ඉවර වෙලා පාවහන් ගලවන තැනින් පාවහන් ගලවල තියල උඩමලුවට ගොඩ වෙන්න පුළුවන්. උඩ මළුවට ගොඩ වුණු ගමන් පොඩ්ඩක් පිටිපස්ස හැරිල බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් අනුරාධපුරයේ රුවන්වැලිසෑය. හරිම ලස්සන දර්ශනයක්.

ඹන්න දැන් අපි මිහින්තලේ උඩ මළුවේ. සුප්‍රසිද්ධ ආරාධනා ගල, අම්බස්ථල චෛත්‍යය, මිහින්තලේ මහා සෑය සහ සුවිසල් හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන්නෙ මේ ඉහළ මළුවෙ. ඒත් මේ ස්ථාන බලන්න යන්න කලින් තවත් තැනක් තියෙනව බලන්න. ඒ මිහිඳු හිමියන් පරිහරණය කළා කියල ජනප්‍රවාදයේ කියවෙන ගලේම සකස් කරපු ගල් ආසනය.මිහින්තලේ උඩ මළුවේ ධාතුමන්දිරය පහු  කරල පහළට බහින්න තියෙන මාර්ගය දිගේ ටික දුරක් පහළට ගියාට පස්සේ මේ ස්ථානයට හමු වෙනව.

මිහින්තලේ කිව්වහම හැමෝටම එක පාරටම මතකයට එන්නේ ආරාධනා ගල. ආරාධනාගලට නැග්ගට පස්සේ දක්නට ලැබෙන දර්ශනය ඉතාමත් මනස්කාන්තයි. එක් පැත්තකින් මිහින්තලා මහා සෑය සුදෝ සුදට බබලනවා. අනෙක් පැත්තේ පොතාන මහ කන්දයි ඊට ඈතින් පේන කඳු වලල්ලයි දකිනකොට මිහින්තලේ නගිනකොට හැදුණු මහන්සිය නිකන්ම නැති වෙලා යනවා. ඊටත් වඩා මනබඳන දර්ශනය තමයි මහකනදරාව වැවේ දර්ශනය. විශාල වපසරියක පැතිරිලා තියෙන මහකනදරාව වැව පැත්තෙන් එන සීතල සුළඟ ඔබ ඉන්නේ වියළි කලාපයේ කියන එක අමතක කරාවි.

ආරාධනාගලට නගින්න පහසු වෙන්න ගලේ කොටපු පියගැටවලට අමතරව සවිමත් ලෙස හදපු යකඩ වැටකුත් තියෙන හින්ද බයක් නැතුව නගින්න පුළුවන්. ඒත් එක කාලේකට මේ ප්‍රදේශයට තද සුළං හමනවා. තව සමහර තැන් ලිස්සන ගතියක් තියෙනවා. ඉතින් පොඩි ළමයි, වැඩිහිටියන් එක්කන් යනවනම් පරිස්සමෙන්.

මිහින්තලේ මහා සෑ මළුවට ගිහාම පූජනීය අනුරාධපුරයේ රුවන්වැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය වගේම නුවර වැවත් දැක් ගන්න පුලුවන්. මහා සෑය වටේ ගිහිල්ල වන්දනාමාන කරගන්න අතරෙම මහා සෑය එහා පැත්තෙන් තියෙන මිහිඳු හිමියන්ගෙ භෂ්මාවශේෂ තැම්පත් කරල හදපු මිහිඳු සෑයත් වන්දනාමාන කර ගන්න අමතක කරන්න එපා. මීට අමතරව මහා සෑය පහලින් තිබෙන නාග පොකුණත් බලන්න පුලුවන් උඩමලුවෙන් පහලට බැහැල පොඩි දුරක් එනකොට වම් පැත්තට හැරුනොත්.

මිහින්තලේ වන්දනාමාන කරන්න යන්න තියෙන හොඳම වෙලාව තමයි සවස්වරුව. ඉර බැස යන අලංකාර දර්ශනය වගේම සුදුපැහැ විදුලි බුබුළුවලින් ආලෝක කෙරුණු මිහින්තලා මහා සෑයේ අලංකාරයත් දකින්නට පුළුවන් වෙන්නේ සවස් වරුවෙ ගියොත්.

මිහින්තලේ වන්දනාමාන කරන්න යනකොට මතක ඇතුව වතුර බෝතලයක් අරන් යන්න. තැන තැන ජල පහසුකම් සපයලා තිබ්බත් මේ ප්‍රදේශවලට ආවේණික කිවුල් රසය ඒ වතුරවල තිබෙනවා. ඒ නිසා වතුර බෝතලය වැදගත් වේවි. ඒ වගේමයි ප්ලාස්ටික් බෝතල්, ෂොපින් බෑග් වගේ දේවල් අරන් යනවනම් තැන තැන් නොදමා මතක ඇතුව තමා සමග ආපහු ගෙන යන්න.

මිහින්තලේ පැමිණෙන ඔයාලට වාහන නතර කරන්න වාහාන නැවතුම්පොළවල් දෙකක් තියෙනවා. කන්ද පාමුල වාහන නැවතුම සහ මැද මළුවට පහළින් තිබෙන නැවතුම. ඊට අමතරව සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය වැසිකිලි පද්ධතිය බැගින් මේ වාහන නැවතුම්පොළවල් අසල තියෙනවා.

අඹ, තම්බපු බඩඉරිඟු, මුරුක්කු, කඩල.බූන්දි, දොදොල්,මස්කට් වගේ කෑම ජාති වගේම් දේශීය ඹෟෂධ වර්ග, විවිධ ආබරණ, සෙල්ලම්බඩු ආදියත් මිලදී ගන්න පුලුවන් කඩ පේලියක් තියෙනවා මිහින්තලා කඳු පාමුල පියගැටපෙළ ආරම්භ වෙන තැනට දකුණු අත පැත්තෙන්. මීට අමතරව ප්‍රධාන කෑම වේලක් ගන්න ඕන නම් මිහින්තලේ නගරයට යන්න වෙනවා.

මිහින්තලේ බලන්න තියෙන දේවල් තවත් ඉවර නෑ. මිහින්තලේ පැරණි රෝහල් සංකීර්ණය, කටු සෑය හා ආශ්‍රිත නටඹුන්, ඇත් වෙහෙර, ගිරි භණ්ඩ සෑය, රජගිරි ලෙන්, කලුදිය පොකුණ, මහකනදරාව වැව, කනදරාව ගල් පාලම, වසම්මලේ චිත්‍ර ලෙන වගේම මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරයත් අනිවාර්යයෙන්ම නරඹන්න අමතක කරන්න එපා. ඒ නිසා මිහින්තලේ නැරඹීමට මුලු දවසක්ම යොදා ගත්තත් පාඩුවක් වෙන්නෙ නැත්තේ දවස පුරාම වුනත් බලන්න අපූරු ස්ථාන රැසක් මිහින්තලේ හා අවට විසිරිලා තියෙන හින්ද.

 

මනෝජ් මද්දුමආරච්චි

 

 

 

Leave a Reply