අරිසිමලේ වෙරළ

ත්‍රිකුණාමලය සිට පුල්මුඩේ මාර්ගයෙහි පුල්මුඩේ නගරයට කිට්ටුව ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝමීටර් 52 ක් දුරින් අරිසිමලේ වෙරළ පිහිටයි. මෙහි වාහන නවතා තැබීමට ඉඩ පහසුකම් තිබෙන අතර වාහන නවතා තබන ස්ථානයේ සිට මද දුරක් පා ගමනින් යාමට සිදු වේ. මෙහිදී කුඩා කදු ගැටයක් තරණය කර වෙරළට ළඟා විය යුතු වේ. එම මාර්ගයද මෙම පළාතට ආවේණික තුරුලතා වලින් සමන්විත අලංකාර එකකි.

මෙම වෙරළෙහි ඇති වැලි වල ස්වාභාවය වෙනත් වෙරළයන්හි හමු වන වැලි වලට වඩා වෙනස්ය. දමිළ භාෂාවෙන් අරිසි යනු සහල්ය, මලෙයි යනු කන්දය, එනම් සහල් කන්දය. මෙහි ඇති වැලි කැට ප්‍රමාණයෙන් විශාලය. සහල් ඇට මෙනි. මෙහි දිය නෑම ආරක්ෂිතය. ශ්‍රී ලංකාවේ ඇති ඉතාම අලංකාර මුහුදු වෙරළක් වන අරිසිමලේ වෙරළ දෙස් විදෙස් සංචාරකයින් අමන්දානන්දනයට පත් කරවන ස්ථානයකි.