අස්ගිරිය රජමහා විහාරය, ගම්පහ

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ නගරයට ආසන්නව පිහිටි ප්‍රසිද්ධ විහාරස්ථානයකි. ගම්පහ සිට උඩුගම්පොළ දක්වා දිවෙන මාර්ගයේ බුලත්කඩේ හන්දියෙන් දකුණු පසට හැරී මද දුරක් ගමන් කල විට අස්ගිරිය රජමහා විහාරය හමු වේ. ආසන්න ලෙස ගම්පහ නගරයේ සිට කිලෝමීටර් 3 පමණ දුර ප්‍රමාණයක් තිබේ. විහාරස්ථානය තුළ වාහන නවතා තැබීමේ පහසුකම් තිබේ.

මෙම විහාරස්ථානය ඉපැරණි ලෙන් විහාරයක් වන අතර මනරම් කන්දක් මත නිර්මාණය කර තිබේ. මෙම ස්ථානය අතීතයේ දී වලගම්බා රජු සැඟවී සිටි ස්ථානයක් ලෙස සැළකෙන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති පුරාවිද්‍යාත්මක සංරක්ෂිත ස්ථානයක් ලෙස නම් කර ඇත.

චෛත්‍යය, බෝධිය සහ බුදු මැදුර වෙත ගමන් කිරීමට ඇති පියගැට පෙල විහාරස්ථානයේ පෞරාණික බව වඩා තීව්‍ර කරයි. එම පියගැට පෙල තරණය කිරීමෙන් චෛත්‍යය, බෝධිය සහ බුදු මැදුර මෙන්ම පොකුණක්ද දැකිය හැකි වේ. ප්‍රධාන පියගැට පෙලට අමතරව බෝධිය අසළින් පහලට බැසිය හැකි තවත් පියගැට පෙලක් පවතින අතර එයද ඔබ විසින් දැක බලා ගත යුතු ස්ථානයකි.