හුම්මානය

හුම්මානය යනු ස්වාභාව ධර්මයේ අපූර්වතම නිර්මානයකි. මුහුදු වෙරළ ආශ්‍රිත සුවිශේෂී භූවිද්‍යාත්මක පිහිටීමක් වන හුම්මානය ඉතා විරළ පිහිටීමකි. මාතර සිට තංගල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මාතර සිට කිලෝ මීටර් 28 ක් සහ දික්වැල්ල සිට කිලෝ මීටර් 12 ක් පමණ ගිය විට හමුවන කුඩාවැල්ල ධීවර ගම්මානය දෙසට හැරී (මාතර සිට යන විට දකුණු පසට) මද දුරක් ගිය විට මෙම සුවිශේෂී ස්ථානය හමු වේ. බස් රථ වුවද නවතා තැබීමේ පහසුකම් මෙහි පවතින අතර මද දුරක් ධිවර ගම්මානය මැදින් පා ගමනින් යා යුතු වේ. මෙම මාර්ගය දෙපස මාළු කරවල වැනි ධීවර නිෂ්පාදන විකුණන කුඩා වෙළෙද සැල් බොහොමයක් හමු වේ.

මෙය ශ්‍රී ලංකාවේ හමුවන එකම හුම්මානය වන අතර ලෝකයේ පවතින මෙවැනි ස්ථාන අතුරින් දෙවැනි ස්ථානය ගනී. මුහුදු ජලය හුම්මානයේ සිදුර තුළින්  “හූ“ හඬක් නඟමින් ඉතා ඉහළට විහිදී යාම ආකර්ෂණීය දසුනක් වන අතර මෙම ස්ථානය නිරන්තරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී පවතින ස්ථානයකි.