ගම්පහ/හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

ගම්පහ උඩුගම්පොළ පාරේ ගම්පහ සිට කිලෝමීටරයක් පමණ ගමන් කර මල්වත්ත පාරට හැරී (වම් පසට) මද දුරක් ඉදිරියට ගමන් කල විට ගම්පහ/හෙනරත්ගොඩ උද්භිද උද්‍යාන පිවිසුම හමු වේ. ගම්පහ මල්වත්ත නමින් ප්‍රසිද්ධ මෙම ස්ථානය ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම උද්භිද උද්‍යානයකි. එක් පැත්තකින් අත්තනගලු ඔය මායිම් වන පරිදි පිහිටා ඇති හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තවත් පසෙකින් මනරම් වෙල් යායක් මායිම්ව පිහිටා තිබීම එහි ආකර්ෂණීය බව තීව්‍ර කරවයි. උද්භිද උද්‍යානය තුල වාහන නවතා තැබීමේ පහසුකම් තිබෙන අතර වාහන උද්භිද උද්‍යානයට ඇතුළු කිරීම සඳහා ගාස්තුවක් අය කෙරේ.

අක්කර 43 ක වපසරියක විහිදී ඇති හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය විශාල ශාක, විසිතුරු ශාක සහ මල් පිපෙන ශාක ඉතා විශාල ප්‍රමාණයකින් අලංකාරවත් වී ඇත. මෙහි ශාක විවිධත්වයද ඉතා ඉහළය. ජපන් උද්‍යානය මෙහි දැකිය හැකි භූමි අලංකරණයෙහි ඉතා වැදගත් අංගයකි. ඕකිඩ් ගෘහය සහ රෝස උද්‍යානය පැමිණෙන අයගේ නෙත් ඇද ගන්නා තවත් අලංකාර ස්ථාන දෙකකි. හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ ඇති ළමා උයන කුඩා දරුවන්න ක්‍රීඩා කරමින් විනෝද වීමට ඇති අපූරු ස්ථානයකි. මෙහි ඇති ක්‍රීඩා පිටිය ක්‍රීඩා තරඟ හෝ වෙනත් උත්සවාංගයක් සඳහා කලින් වෙන් කරවාගත හැක.

මෙහි ඇති තවත් ආකර්ෂණීයම ස්ථානයක් වන්නේ මෑතකදී උද්‍යානයට එක් වූ ජල උද්‍යානයයි. අත්තනගලු ඔයේ ජලය ලබා ගෙන ඉතා ඉහළ භූමි අලංකරණ ක්‍රමවේදයන් අනුසාරයෙන් නිමවා ඇති ජල උද්‍යානය සැබවින්ම ඉතා අලංකාර අංගයකි. මෙහි පැත්තකින් පිහිටා ඇති එක් පැත්තකින් මනරම් වෙල් යායකට මායිම් වන තෘණ පිට්ටනිය විවේකය ගත කිරීමට සුදුසුම ස්ථානයකි.