ගම්පහ ඔරුතොට ශරීර සුවතා මං තීරුව

ගම්පහ නගරයේ සිට ඔරුතොට පාරේ කිලෝමීටරයක් පමණ යන විට ගම්පහ ඔරුතොට ශරීර සුවතා මං තීරුව හමු වේ. මෙහි පිවිසුම් ස්ථානයෙහි වාහන රැසක් නවතා තැබීමට ඉඩ පහසුකම් තිබේ. මෙම මං තීරුවේ සම්පූර්ණ දුර ප්‍රමාණය මීටර් 1800 වන අතර මාර්ගය ඇවිදීමට සහ දිවීමට සුදුසු පරිදි ඉතා ක්‍රමවත් ලෙස සකසා තිබේ. මාර්ගය දෙපස ඉතා අලංකාරවත් ලෙස භූමි අලංකරණය කර තිබෙන අතර මාර්ගය දිගේ දිවෙන ඇළ මාර්ගය මං තීරුවට ආකර්ෂණීය බවක් එක් කරයි. ගම්පහ ඔරුතොට ශරීර සුවතා මං තීරුවේ අනෙක් අන්තය ගම්පහ පල්ලිය පාරේ පිහිටා තිබේ. එම පිවිසුම් ස්ථානයේ ද වාහන කිහිපයක් නවතා තැබීමේ ඉඩ පහසුකම් ඇත. උදේ සහ සවස් කාලයට ජනාකීර්ණ වන මෙම ශරීර සුවතා මං තීරුව ගම්පහ නගරය සහ ඒ අවට ජනතාවට වටිනා සම්පතකි.

ගම්පහ ඔරුතොට ශරීර සුවතා මං තීරුව 2011 දෙසැම්බර් මස 23 වෙනි දින එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය හෙබවූ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ජනතා අයිතියට පවරන ලදී.