ගිරිහඬු මහ සෑය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියාය ග්‍රාමයේ පිහිටා ඇති බෞද්ධයින්ගේ ඉමහත් ගෞරවට පාත්‍ර වූ පූජනීය ස්ථානයකි. ත්‍රිකුණාමලය නගරයේ සිට පුල්මුඩේ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 42 පමණ ගමන් කර නාවික හමුදා කඳවුර පසුවූ වහාම වම් පසට හැරී එම මාර්ගය ඔස්සේ කිලෝමීටර් 4 ක් පමණ ගමන් කිරීමෙන් මෙම ඵෙතිහාසික ස්ථානය හමු වේ. ප්‍රධාන මාර්ගයෙන් හැරී ගමන් කිරීමට ඇති මාර්ගයේ අලි ඇතුන් ගැවසෙන බැවින් අඳුරු වැටුනු පසු ගමන් කිරීම සුදුසු නැත. වාහන නවතා තැබීමට ඉඩ පහසුකම් තිබේ. පහළ ඇති විහාරස්ථානය පසු කර පියගැට පෙළ දිගේ ඉහළට නැඟීමෙන් කිරිහඬු සෑය දැක ගත හැකි වේ. මෙය මෙරට ඉදිකල ප්‍රථම වටදා ගෙය සහිත ස්ථුපයයි.

මෙහි ඵෙතිහාසික කථාව වන්නේ බුදු රජාණන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් වී පනස් වෙනි දින තපස්සු භල්ලුක යන වෙළෙඳ දෙබෑයන් වනයට අරක් ගත් දේවතාවියකගේ මඟ පෙන්වීම මත බුදු රජාණන්වහන්සේට විළඳ හා මී පැණි පිළිගන්වන ලදී. මෙය බුදු රජාණන්වහන්සේට පිළි ගන්වන ලද ප්‍රථම දානයයි.  බුදු රජාණන්වහන්සේ දානය පිළිගෙන වැළදීම ගැන මහත් සතුටට පත් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් තමන්ට එය සිහිවීම පිණිස බුදු රජාණන්වහන්සේගෙන් යමක් ඉල්ලා සින ලදී. එම අවස්ථාවේ දී බුදු රජාණන්වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතූන් වහන්සේලා ලබා දුන් බව බුද්ධ චරිතයේ සඳහන් වේ. පසුව මෙම වෙළෙඳ දෙබෑයන් පෙර දිග වෙළෙදාමට යන අතරතුර ලංකාවට පැමිණ ඇත. ඔවුන් මෙරටට ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමලය වරායෙනි. ඉන් පසුව ගිරි කණ්ඩ පර්වතයට පැමිණි මෙම වෙළෙඳ දෙබෑයන් තමන්ට ලැබුණු කේශ ධාතූන් වහන්සේලා එහි සුරක්ෂිතව තැන්පත් කර වෙළෙදාම සඳහා පිටත්ව ගොස් ඇත. සාර්ථක වෙළෙදාමකින් පසු නැවත ගිරි කණ්ඩ පර්වතයට පැමිණි මෙම වෙළෙඳ දෙබෑයන් කේශ ධාතූන් වහන්සේලා නැවත රැගෙන යාමට උත්සාහ කලද එම කේශ ධාතූන් වහන්සේලා සහිත පාත්‍රය පර්වතයට ඇලී තිබුණු බව සඳහන් වේ. එම නිසා කේශ ධාතූන් වහන්සේලා නිධන් කොට ගිරිහඬු සෑය සෑදවූ බව ඉතිහාසයේ සඳහන් වේ.