කැළණිය රජමහා විහාරය දෙස් විදෙස් බෞද්ධයින්ගේ ඉමහත් භක්තියාදරයට පාත්‍ර වූ අති පූජනීය ස්ථානයකි.
ඵෙතිහාසික කැළණිය විහාරස්ථානය විභීෂණ රජු පාලන සමය දක්වාම ඈත අතීතයට විහිදී යන්නකි. අපගේ හෙළ වංශකතා වල සඳහන් පරිදි මණිඅක්ඛිත නා රජතුමන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සම්බුදු පදවි ලබා අට වසරක් සපිරුණු වෙසක් පුන් පොහෝ දා අග්‍රගණ්‍ය මහ රහතන්වහන්සේලාද සමඟ කැළණියට වැඩම කළ සේක. බුදුන් වහන්සේ මහ රහතන්වහන්සේලා සමඟ වැඩ හිඳ දන් වළදා දහම් දෙසූ තැන මණිඅක්ඛිත නා රජතුමා විසින් එම මැණික් මණ්ඩපය නිදන් කොට කැළණි චෛත්‍යය ගොඩ නැගීය. කුඩාවට තැනූ එම චෛත්‍යය සැට රියන් උස් කොට ක්‍රි.පූ 3 වෙනි සියවසේ දී යථාලතිස්ස රජතුමා ඉදි කල බව සඳහන්ය. මෙය කැළණි විහාරයේ ඇති ප්‍රධාන පූජනීය ස්ථානය වශයෙන් සැළකේ. තවද උපෝෂතාගාරය, පස් මහල් පාය, ඔත් පිළිම ගෙය, තිවංක පීළිම ගෙය, බෝධීන් වහන්සේ, සතරැස් මහ මළුව, සෙල්ලිපි යනා දී ස්ථාන, කැළණි විහාරස්ථානය තුළ සුවිශේෂී තැනක් ගනී. තවද දේවානම්පියතිස්ස රජුගේ කාලයේ පටන් අපගේ අවසාන රජු දක්වාම බොහෝ රජවරු කැළණි විහාරය කෙරෙහි භක්තියෙන් කටයුතු කර ඇත. එමෙන්ම කැළණි විහාරය වෙනත් විහාරස්ථාන වලට වඩා විශේෂත්වයක් වන්නේ එහි එකම විහාරයක් තුළ බුදු මැදුරු දෙකක් තිබීමයි. එය පැරණි විහාරය සහ අළුත් විහාරය වශයෙන්ය. පැරණි විහාරය 18 වන සියවසට අයත් වන අතර, එහි චිත්‍ර මහනුවර යුගයට අයත්ය. කැළණි රජමහා විහාරයේ වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු පෙරහැර ඉතාමත් විචිත්‍රවත් ආගමික හා සංස්කෘතික ගුණාංග වලින් පිරීපවතින අතර එය බෞද්ධ ජනයාගේ සිත් තුල බුද්ධාලම්භන ප්‍රීතිය ආවර්ජනය කරවයි.