පූර්වාරාම පුරාණ විහාරය

ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථාන දෙක අතර ගම්පහ දුම්රිය ස්ථානට නුදුරින් හමුවන ඉහළගම පූර්වාරාම පුරාණ විහාරය ඉතා අලංකාර විහාරස්ථානයකි. ගම්පහ විජයරාම පාර, බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිටින් ඇති සඳරැස මාවත හෝ ගම්පහ අධ්‍යාපන කලාප කාර්යාලය ඉදිරිපිටින් ඇති මාර්ගය ඔස්සේ පැමිණ මෙම විහාරස්ථානයට ළඟා විය හැක. විහාරස්ථානය අසල වාහන නවතා තැබීමට ඉඩකඩ පවතී.

පූර්වාරාම පුරාණ විහාරය තුළ පැරණි ධර්ම ශාලාවක් පවතින අතර එය පැරණි පිරිත් මණ්ඩපයකින්ද සමන්විත වේ. මෙහි ඇති බුද්ධ මන්දිරය තුළ අලංකාර චිත්‍ර සහ මූර්ති දැකිය හැකි වේ. කුඩා අලංකාර ස්ථුපයකින්ද සමන්විත මෙම විහාරස්ථානයේ විශාල රන්වන් පැහැ හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වඩ හිදී. කුඩා ජලාශයකට මැදිව පවතින පැරණි බෝධීන් වහන්සේ මෙහි පැමිණෙන සැදැහැවතුන්ගේ සිත් තුළ ඇති කරනුයේ ශාන්ත සුවදායී බවකි. මෙම විහාරස්ථානය පොලිතින් වලින් තොර කලාපයක් ලෙස පවත්වගෙන යනු ලබයි.

මෙම විහාරස්ථානය වටා ඇති මාර්ගය ඔස්සේ දුම්රිය මාර්ගය හරහා ගමන් කල විට ගම්පහ ස්නානය සඳහා ඉතා ප්‍රසිද්ධ කැටවල ඇනිකට් එක හමු වේ.

අළුතින් සාදන කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ගම්පහ පිවිසුම් මාර්ගය හේතුවෙන් මෙම ස්ථානයේ පෙනුම යම් ආකාරයකින් වෙනස් වීමකට ලක්ව ඇතත් ජල ස්නානය කර විනෝද වීමට එය බාධාවක් නොවනු ඇත. මෙම ස්ථානයේ වාහන නවතා තැබීම තරමක් අපහසු අතර යතුරු පැදි, ත්‍රී රෝද රථ වලින් පැමිණීම වඩාත් යෝග්‍ය වේ. මෙහි සමහර ස්ථාන ස්නානය සඳහා අනාරක්ෂිත වන අතර ආරක්ෂාකාරී ස්ථානයක ස්නානය කිරීම පැමිණෙන්නන්ගේ වඟකීමකි.