රණවන පුරණ විහාරය

කොළඹ සිට නුවර දක්වා යන ප්‍රධාන මාර්ගයේ පිළිමතලාව නගරය පසු කර කිලෝමීටර් 3 කින් පමණ හමුවන දුම්රිය මාර්ගය ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරන ස්ථානය පසු කරනවාත් සමඟම වම් පැත්තට ඇති මාර්ගය ඔස්සේ කිලෝමීටරයක් පමණ ගමන් කිරීමෙන් රණවන පුරණ විහාරය හමු වේ. දුම්රිය මාර්ගය පසු කරනවාත් සමඟම කොළඹ නුවර පාරේ නිතර ඇස ගැටෙන මහාමාර්ග කෞතුකවස්තු සංකීර්ණය දකුණු පස හමුවන අතර එය මෙම විහාරයට හැරෙන ස්ථානය හඳුනා ගැනීමට හොඳ මං සළකුණකි. මෙම ස්ථානයේ වාහන නවතා තැබීමට අවශ්‍ය තරම් ඉඩ පහසුකම් පවතී.

රණවන පුරණ විහාරය විශාල කළු ගල් පර්වත වලින් හෙඹි වනගත පරිසරයක පිහිටන අතර ස්වාභාවික පරිසරය රැක ගනිමින් මෙහි ඉදිකිරීම් සිදු කර තිබේ. මෙහි ඇතුළු වන ස්ථානයේ ඉතා අලංකාර තොරණක් නිර්මාණය කර තිබේ. මෙය ඉංදියාවේ බෝපාල් නගරයේ නිර්මාණය කර ඇති සංචි උතුරු දොරටුවේ අනුරුවකි.

මෙම විහාරස්ථානයේ බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ස්වාභාවික පරිසරය තුළම අඹා ඇති රූප මඟින් ඉතා ආකර්ෂණීය ලෙස විදහා දක්වා ඇත.

මෙම විහාරස්ථානය මුදුනේ සුවිසල් සක්මන් ඉරියවිවෙහි වැඩ සිටින බුදු පිළිම වහන්සේ නමක් වැඩ හිදී. මෙය පළමු වර දුටු විට ඔබ පුදුමයට පත් කරවන තරමේ විශාල බුදු පිළිමයකි.

රණවන පුරණ විහාරය ලංකාවේ ඇති විහාරස්ථාන අතරින් ඉතා අලංකාරම විහාරස්ථානයක් වන අතර ඔබ විසින් වන්දනා මාන කර ගත යුතු පූජනීය ස්ථානයකි.