රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය

තිස්සමහාරාම නගරයේ සිට කතරගම දක්වා යන මාර්ගයේ කිලෝමීටර් 7 පමණ ගිය විට පාරේ දකුණු පස රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයෙහි නාම පුවරුව හමුවේ. එතැනින් දකුණට හැරී ටික දුරක් ගමන් කරන විට රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය ඔබට දැක ගත හැකියි. අක්කර 250ක පමණ භූමි ප්‍රමාණයක මනරම් වැවක් ද මැදි කර නිර්මාණය කර ඇති රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය දැනට පාර්ලිමේන්තු ප්‍රතිශංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පාළනය වේ.

ඉතා උසස් මට්ටමේ සිනමා පටයක් නිෂ්පාදනයට අවශ්‍ය සියළුම පහසුකම් මෙහි සපයා තිබේ. නවීනතම තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත සුවිසල් චිත්‍රාගාරයක්, වෙල් යායක්, පැරණි කඩමංඩියක් සහ පැරණි ගම්මානයක්, වැවක් සහ අවශ්‍ය පරිදි ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක අනුරුවක් නිර්මාණය කර ගැනීමට පහසුකම් සහිත ස්ථානයක් මෙන්ම පැමිණෙන කලාකරුවන්ට සහ තාක්ෂණික ශිල්පීන්ට නැනතීමේ පහසුකම්ද මෙහි තිබේ. ලංකාවේ තිරගත වූ ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය කිහිපයක් රූගත කල ස්ථාන සහ දෙස් විදෙස් චිත්‍රපට කිහිපයක් සඳහා යොදා ගන්නා ලද අනුරූ අදද මෙහි දක්නට ලැබේ. ඉතා අලංකාර භූමි භාගයක නිර්මාණය කර ඇති රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය 2010 මැයි මාසයේ සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව ඇත. වාහන ඉතා ආරක්ෂිත ලෙස නවතා තැබීමේ පහසුකම් මෙහි පවතින අතර ඇතුළු වීම සඳහා වැඩිහිටි අයෙක් රුපියල් 50 ටිකට් පතක් ලබා ගත යුතු වේ.

වැඩි විස්තර සඳහා 047 22 55 445, 047 22 55 444 සහ 047 22 55 555 යන දුරකථන අංක අමතන්න.