ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය

ගම්පහ නගරය අවට පිහිටි විහාරස්ථාන අතරින් ඉතාම අලංකාර බෞද්ධ විහාරස්ථානයකි. කොළඹ නුවර පාර ඔස්සේ නුවර දෙසට පැමිණෙන විට මිරිස්වත්ත හන්දිය පසු කර මීටර් 500 පමණ ගමන් කර වම් පස හමුවන වැරැල්ලවත්ත ප්‍රධාන පටුමගට පිවිස මීටර් 150 පමණ ගමන් කර නැවත වම් පසට හැරී එම මාර්ගය ඔස්සේ මද දුරක් ගමන් කලවිට ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය හමු වේ. ගම්පහ හංසගිරි පාර ඔස්සේ පැමිණීමෙන්ද මෙම විහාරස්ථානයට ළඟා විය හැක. වාහන නවතා තැබීමට ඉඩ පහසුකම් ඇත.

පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය මත ගොඩ නැඟුණු මෙම විහාරස්ථානය අද වන විට ඉතා දියුණු තත්ත්වයකට පත්ව ඇත. ඉතා දැකුම්කළු භූමි අලංකරණ අංගයන්ගෙන් සමන්විත විහාරස්ථානයකි. මෙහි ඇති සුවිශේෂීම අංගය වන්නේ වීදුරු චෛත්‍යයයි. ඉතා අලංකාර ලෙස නිමවා ඇති මෙම වීදුරු චෛත්‍යය චෛත්‍ය මන්දිරයේ දෙවන මහළ මුදුනේ නිමවා ඇත. බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක්ද මෙහි ස්ථාපිත කර ඇත. පොහොය දිනවල සැදැහැවතුන්ගෙන් පිරී යන මෙම විහාරස්ථානය සුදු වතින් සැරසී සැදැහැ සිතින් වන්දනා කල යුතු පූජනීය ස්ථානයකි.