තාරකා කොටුව මාතර

ශ්‍රී ලංකාව ලන්දේසීන් විසින් පාලනය කල සමයේ මෙම තාරකා කොටුව ඉදි කර තිබේ. මාතර ප්‍රධාන ලන්දෙසි බලකොටුවට සිංහල සේනා වලින් නිල්වලා ගඟ හරහා සිදුවන ආක්‍රමණ වැළැක්වීම සඳහා තාරකා කොටුව ඉදි කල බව ඉතිහාසයේ සඳහන් වේ. මාතර නගරයේ මහ රෝහල ආසන්නයේ පිහිටා ඇති තාරකා කොටුව ඵෙතිහාසික වටිනාකමක් ඇති ගොඩනැඟිල්ලක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබේ. අද මෙය පුරාවිද්‍යා කෞතුකාගාරයකි.

සැම අතින්ම සමාන වූ තුඩු 6 ක් ඇති තාරකාවක හැඩයට ඉදි කර ඇති තාරකා කොටුව සියළු දිශාවන්ගෙන් එන සිංහල සේනා වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා සුවිසල් කාල තුවක්කු 12 එම තුඩු වල සවිකර තිබී ඇත. කොටුව වටා විශාල අඟලක් පිහිටා තිබෙන අතර ලන්දේසි සමයේ දී එහි ජලය පුරවා සතුරු සෙබළුන්ට එය තරණය කල නොහැකි වන පරිදි කඹුලන් දමා තිබූ බව සඳහන් වේ. කාර්යාල කාමර, වෙඩි බෙහෙත් ගබඩා සහ සිර කුටි වලින් සමන්විත ගොඩනැඟිල්ලක් තාරකා කොටුව තුළ පිහිටා තිබේ.