තිස්සමහාරාම රජමහා විහාරය

කතරගම වන්දනාවේ යන සැවොම නොවරදවාම වැඳ පුදා ගන්නා පූජනීය ස්ථානයකි තිස්සමහාරාම රජමහා විහාරය. බොහෝ හාස්කම් සහිත බෞද්ධ සිද්ධස්ථානයක් වන තිස්සමහාරාම රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම නගරයේ පිහිටා තිබේ.

මෙම විහාරය ක්‍රි. පූ දෙවන සියවසේ දී රුහුණේ කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද බව මහාවංශයේ සඳහන් වේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශය ලැබීමට භාග්‍යවන්ත වූ තිස්සමහාරාම පුද බිමේ සුවිසල් තිස්සමහාරාම දාගැබ නිර්මාණය කර ඇත. බුබ්බුලාකාර හැඩයෙන් යුතු මෙම දාගැබ ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති විශාලතම දාගැබ් අතරින් එකකි. උසින් අඩි 156 ක් වන මෙම ස්ථූපයේ වටප්‍රමාණය අඩි 550 ක් වේ.