වැවුරුකන්නල රජමහා විහාරය

මාතර සිට තංගල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 22 ක් පමණ ගමන් කිරීමේ දී හමුවන නව බෙලිඅත්ත පාර දෙසට හැරී (මාතර සිට එන විට වම් පසට) මද දුරක් ගමන් කල විට වැවුරුකන්නල රජමහා විහාරය හමු වේ. විහාරස්ථානය තුළ වාහන නවතා තැබීමේ පහසුකම් තිබේ.

මෙම විහාරස්ථානයේ ඉතා විශාල ප්‍රමාණයේ හිදි බුදු පිළිමයක් දක්නට ලැබෙන අතර එහි උස අඩි 160 කි. වැව්රුකන්නල රජ මහා විහාරයේ ඉතිහාසය මහනුවර යුගයේ රාජාධිරාජසිංහ යුගය දක්වා දිව යයි. මෙම විහාරස්ථානයේ බුදු ගෙවල් 3 පිහිටා තිබේ. ඒ අතරින් පැරණිතම බුදු ගෙය ඉදිකර ඇත්තේ 1870 දී ය. මෙම බුදු ගෙය තුළ සැතපෙන පිළිම වහන්සේ නමක් වැඩ සිටින අතර එයට අමතරව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම පිහිටුවා ඇති අතර ජාතක කථා වල විවිධ අවස්ථා සහ බුද්ධ චරිතයේ විවිධ අවස්ථා මෙහි සිතුවම් කර තිබේ. මෙම විහාරස්ථානයේ පිහිටා ඇති දා ගැබෙහි බුදුන් වහන්සේගේ සහ ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විශාලම ඔරලෝසුව දක්නට ලැබෙන්නේද මෙම විමාරස්ථානය තුළදීය. බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ වැව්රුකන්නල රජ මහා විහාරය ඔබ විසින් වන්දනාමාන කළ යුතුම ස්ථානයකි.